වනය මැද තළාකය පනාමුරේ අඩවියේ
දිය බුබුළ සරුසාර කිසිදාක නොසිඳුනේ
පොදි ගැසී නන්දෙසින් රංචු පිට පැමිණියේ
අභාවයට පණ පොවා නිවන්නට හාමතේ…
බුරුත පළු දැව කඳන් වටකර බිම් අක්කරක්
ලන්සුවට බිලිවී හෙලන දුක් කප්පරක්
එකෙක් මින් මෙල්ල නොවි නාද කර කුංචයක්
යඳම්දා නොහැකි තැන දුනි ඌට නිදහසක්…
නොයා ඌ තනිකොට පවාදී වරිගයම
කුපිතකර ලෝහිතය ඇරඹුනා විප්ලවය
අහස් නැඟි දූලි කඳු සුනු විසුණු පවුරු කඳ
පහර කා පැන දුවයි ඇමට දුන් කෙණෙරියන්…
උණ්ඩ පිට උණ්ඩයන් ගිනි කඳන් පත්තුවුනි
පසරු වී ගිලා බැසි හතරගාතේ වැටිනි
සංග්‍රාමය අවසනින් නිසල කළු ගලක් වැනි
රැස්ව උන් පිරිවරම දැස් දියරින් පෙඟුනි…
හිස නමමි සීරුවෙන් රජා පෑ තේජසට
තිරිසන් ලෝකයේ කෙටිම කෙටි විප්ලවයට
සදාකල් නොමැකෙනා රන් අකුරු නාමයට
එදින් පසු කිසිදාක උන් නොගිය වෙන්දේසියට…